උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි වේවැල්තලාව ස්වාභාවික වන වගා රක්ෂිතය තුල විශාල පිරිසක් පරිසර හානියක් සිදු කරමින් කාලයක් තිස්සේ සිදු කරන අනවසර මැණික් ගැරීමක් දුම්රිය මාර්ගය හේතුවෙන් නායයෑමේ අවධානමකට ලක් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
හැටන් ඔයට ඉහලින් සහ දුම්රිය මාර්ගයට පහළින් පිහිටි හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන එම රක්ෂිතයට දිවා සහ රාත්‍රි කාලයේ හැටන්ඔය තරණය කර විශාල පිරිසක් රක්ෂිතය තුළට පිවිස රක්ෂිතය තුළ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් සහිත පස් එම රක්ෂිතයේ සිට පහළට ගලා බසින ඇළ මාර්ගයන්ට සෝදන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙම අනවසර මැණික් ගැරීමේ නිරතව සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සදහා වටවල පොලිසියේ නිළධාරින් පිරිසක් ඊයේ(25) දින එම රක්ෂිතය තුල මෙහෙයුමක් දියක් කළ අතර එහිදි පොලිස් නිළධාරින් රක්ෂිතය තුලට පිවිසීමත් සමග ජාවාරම්කරුවන් පිරිස පළා ගොස් තිබෙනවා.
1997 වසරේ හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම දුම්රිය මාර්ගයත් සමග නායගොස් තිබුණි.
පසුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ගය නාය ගිය ස්ථානයට ඉහළින් අලුතින් දුම්ර්ය මාර්ගයක් සකස් කර තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතරින් විශාල ජල ධාරිතාවක් ඇළ මාර්ග ඔස්සේ මහවැලි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින හැටන් ඔයට ගලා බසිනවා.
එම මෙහෙයුමට එක් වූ වටවල පොලිසියේ නිළධාරින් කියා සිටියේ අනවසරෙන් මැණික් ගැරීම සිදුකරන රක්ෂිත කොටස තම පොලිස් බල ප්‍රදේශවලට අයත් නොවන බවයි.
වේවැල්තලාව රක්ෂිතය තුල විශාල පරිසර හානියක් සිදු කරන අනවසර මැණික් ගැරීම සම්බන්ධයෙන් හැටන් වන අඩවි කාර්යාලයේ උසස් නිළධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකරන බවයි.