ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද පසුවරුවේ ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවති අතර, එහිදී මොවුන් දෙදෙනා පැහැරගැනීමකට ලක්ව තිබුණා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ පැහැරගැනීමට ලක් වූ මන්ත්‍රීවරයාට සහ මන්ත්‍රීවරියට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.
මෙම මන්ත්‍රිවරු දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධිය හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතුද කල් තැබීමට සිදු වුනා.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පමණ සභාවේ කටයුතු ආරම්භ කෙරුණා.
එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අදාල මන්ත්‍රිවරයා සහ මන්ත්‍රිවරිය සභාවට නොපැමිණ තිබුණා.
ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්ව ඇති බවයි එහිදී එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී ඇත්තේ.
ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නැයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.
පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවේ පවසා ඇත්තේ සභාවේ ගණපූරණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවයි.
මේ තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල්ලැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ සභාව තුල උනුසුම් තත්ත්වයක් නිර්මාණය වුනා.
මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සභාවේ කටයුතු සිදුකරගෙන යාමට හැකිවූයේ නැහැ.
ඒ අනුව දින 30ක කාලයක් තුළ යළි සභාව රැස්වීමෙන් අපේක්ෂාවෙන් සභාව කල්තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පියවර ගනු ලැබ ඇති බවයි වාර්තා වුනේ.