ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිටි තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව තිබෙනවා.
මේ පිළිබඳව වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකා තැපෑලට මහත් සම්පතක් වූ ද ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අතිරමණීය පාරිසරික පද්ධතියක පිහිටියා වූ ද, පෞරාණික වටිනාකම් රැසක් ද ගොනු වූ මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය යළි නඟාසිටුවා ඵලදායී කාර්යයකට යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ගාල්ල කොටුව පිහිටි එම තැපැල් කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ දකුණූ පළාත් නියෝජ්‍ය තැපැල්පති ඇතුළු නිලධාරීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සමග පරිශ්‍රය නිරීක්ෂණය කරමින් කරුණු අධ්‍යයනය කළ අමාත්‍යවරයා පෞරාණික වටිනාකමකින් මෙන්ම ඓතිහාසික උරුමයකින් ද යුක්ත වූ ශ්‍රී ලංකා තැපෑලට අයත් ඉතා වටිනා ගොඩනැගිල්ලක් මෙලෙස ගරාවැටීමට ඉඩ දී බලා සිටීම පිළිබඳව මවිතයට පත්වුණා.
දුටුවන්ගේ හද කම්පා වන පරිදි ගරා වැටී පවතින එම පරීශ්‍රය ඉතා පුළුල් ලෙස නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම පරීශ්‍රය ඵලදායී කාර්යයකට යොදවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ තැපෑලට සුවිශේෂි අගයක්, වටිනාකමක් පමණක් නොව සුවිශාල ආදායමක් උපයා ගැනීමට සුදුසු පරිශ්‍රයක් බව පෙන්වා දි තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික උරුමයන් මෙලෙස විනාශවීමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතු බව ද අවධාරණය කළා.