ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම 2024 ඔක්තෝබර් මස 31 වන දින එම කාර්යාලයේදී සිදුකෙරිණි.
2024 අංක 7 දරණ ජල ශාස්ත්‍රීය පණත මඟින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත පැවරූ ජාතික වගකීම ඉටුකිරීම සනිටුහන් කරනු ලබන මෙම ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම මඟින්, ඊට පෙර භාවිතා කළ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් 1907 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇති, ඉතා පැරණි දත්ත සහිත අංක GB500819 දරණ ගාලු වරායේ විද්‍යුත් සිතියම භාවිතයෙන් ඉවත් වේ. එමෙන්ම, 1907 වර්ෂයේදී එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් නිකුත් කර ඇති ගාලු වරායේ පැරණි විද්‍යුත් සිතියම අවම නිරවද්‍යතාවයක් ඇති දත්ත සහිත සිතියම් වර්ගීකරණයට (CATZOC ‘C’) අයත් වන අතර, ඒ හේතුවෙන් ගාලු වරාය වෙත නෞකා ඇතුළු වීමද සීමා වී ඇත. කාලීන අවශ්‍යතාවයක් සපුරමින් එළිදැක්වුණු මෙම ගාලු වරායේ නව විද්‍යුත් සිතියම මඟින්, නාවිකයන්ගේ ගිලිහුණු විශ්වාසය නැවත දිනාගැනීමට අවස්ථාව උදාවනවා පමණක් නොව 1979 වර්ෂයේ මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්මුතිය මඟින් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීමටද හැකියාව ලැබෙනු ඇත.
නාවිකයන් හට නාවික ගමනාගමනය සඳහා මුද්‍රිත නාවික සිතියමක් වෙනුවට පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම විද්‍යුත් සිතියම අංක LK5G04A1 යටතේ නිකුත් කර ඇති අතර, මෙම සිතියම් භාවිතා කරන සෑම නෞකාවක් වෙතින්ම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 25 ක දායක මුදලක් ද ලැබෙන බැවින්, දිවයිනේ ජාතික ආර්ථිකයට විදේශ විණිමය රැගෙන ඒමටද මෙම විද්‍යුත් සිතියම් නිර්මාණය කිරීම තුලින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයට හැකියාව ලැබෙනු ඇත.