වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට අදාළ සැකකරුවන් දෙදෙනෙක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය වසරේ ජුලි මස 03 වන දින රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරනු ලැබූ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඉහත වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු විමර්ශන නිලධාරීන් විසින් මාර්තු 17 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම අපරාධය සම්බන්ධව වැඩිදුරටත් සිදු කළ විමර්ශනයේදී ඉහත වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකු මාර්තු 18 වන දින මාදම්පෙ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිසිය පවසනවා.
සැකකරු වයස අවුරුදු 29ක් වන මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.
එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පසුගිය මාර්තු 07 වන දින ජාඇළ ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බවට අනාවරණ වී ඇති අතර සැකකරුගේ නිවසේ සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් එම පතරොම් 14ක් හා ව්‍යාජ අංක තහඩු යොදන ලද යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී 2025 ජුලි මස 03 වන දින රාගම බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු මාර්තු 19 දින වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 35ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරුවන් දෙදෙනා විසින් පසුගිය වසරේ ජුලි මස 14 වන දින මාදම්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයක සැකකරුවන් බවටද අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














