විදේශ රැකියා වංචාවන්හි යෙදීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව බලපත්‍රය අත්හිටුවා තිබියදීත් විදේශ රැකියා ලබාදීම සඳහා බඳවාගැනීම් කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වැටලීම් කිරීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මරදාන, ශ්‍රි ප්‍රියදර්ශනාරාම මාවතේ ආයතනයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් කරන බවට කාර්යාංශයට ලද තොරතුරක් අනුව විමර්ශන නිළධාරීන් විසින් ඊයේ දින (20) අදාළ ස්ථානය වැටලීම් කර තිබෙනවා.
එහිදී හෙළිවූයේ විදේශ රැකියා වංචාවන්ට අදාළව පැමිණිලි 85ක් කාර්යාංශයට ලැබීම හේතුවෙන් කාර්යාංශය විසින් තාවකාලිකව බලපත්‍රය අත්හිටුවන ලද Ideal Manpower ආයතනය මෙලෙස වෙනත් ස්ථානයක පවත්වාගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව එම ආයතනයේ බලපත්‍රලාභියා හා එහි සේවය කළ නිළධාරීන් තිදෙනෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම අදාල ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 256ක් ඇතුළු ලේඛන රැසන් නිළධාරීන් භාරයට ගැනුණු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (21) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.












