සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා.
වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි වප් පොහෝ දිනයක බවයි සඳහන් වන්නේ.
එසේම කල්ප ලක්ෂයකින් මතුයෙහි බුදුවීමට පෙරුම් පුරණා මෛත්රී බෝසතාණන් ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිවීම, සැරියත් හිමියන් ප්රඥාලාභී භික්ෂුන් අතර අග්රස්ථානය ලැබීම සිදුව ඇත්තේද වප් පුන් පොහෝ දිනකදීයි.
අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයාත්, ජය ශ්රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවානම්පියතිස්ස රජතුමාගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන අරිට්ඨ කුමරු ප්රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්රවර්තීන් හමුවීමට පිටත් කර යවා ඇත්තේද අද වැනි වප් පොහෝ දිනකදීයි.
එසේම වප් පුර පසළොස්වක පොහෝ දිනකදී සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කිරීම ඉතා වැදගත් සිදුවීමකි.