මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 36,000/- ක අල්ලසක් ලබාගත් මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට බරපතළ වැඩ සහිත වසර 56ක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින්ද නියම කළා.
එම සිරදඬුවම අවුරුදු 07 කින් ගෙවී යා යුතු බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000/- ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 36,000/- ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කර තිබෙනවා
අති දුෂ්කර ප්‍රදේශයක සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට බාධා පැමිණවීම තුළින් විත්තිකරු බරපතල ක්‍රියාවක් සිදු කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා සංවර්ධන කටයුතුවලදී අල්ලස් ලබා ගැනීම රටේ සංවර්ධනයට මෙන්ම රටේ ඉදිරි ගමනට ද බාධාවක් බවත් සඳහන් කළා.
අල්ලස් ලබා නොදී රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඇතැම් රජයේ නිලධාරින් අල්ලස් ලබා ගැනීම කලාවක් බවට පත් කරගෙන තිබෙන බවත් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු රජයේ සේවකයකු වශයෙන් කටයුතු කරමින් මේ ආකාරයෙන් අල්ලස් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බවත් සඳහන් කර සිටියා.
2017 වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා මොනරාගල දිස්ත්‍රික්කයේ කපුලන්ද සහ උඩුගල්ලෙන යන ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීම් කටයුතු වෙනුවෙන් “ලහිරු ගොවි සංවිධානයට ” ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා රුපියල් 36,000/- අල්ලසක් පැමිණිලිකාර කොන්ත්‍රාත්කරු ගෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.