අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
බංගලාදේශයේ ඇති වූ විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වනදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඩකාහි ඇති ඇගේ නිවස ද අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට රට හැර පලා ගිය අතර, පසුව ඇයට එරෙහිව නඩුවකට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය බව ද සඳහන්.
විදෙස් වාර්තා සඳහන් කළේ හසීනාට එරෙහිව නඩු 155 ක් ගොනුකර ඇති අතර එයින් මිනීමැරුම් නඩු 136 ක්, මිනීමැරීමට තැත් කිරීමේ නඩු 8 ක්, පැහැරගැනීමේ නඩු 3 ක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර නඩු 7 ක් ගොනු කර ඇති බවයි.