පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල, බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී ඊයේ දිනයේදී තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් මෙලෙස සාක්ෂි ලබා දී තිබෙනවා.
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙරවරු 9.30 සිට පස්වරු 07.30 දක්වා මෙලෙස සාක්ෂි ලබා ගැනීම සිදු වුණා. පසුගිය 11 වැනිදා සාක්ෂිකරුවන් සිව් දෙනෙකු කම්ටුව හමුවේ සාක්ෂි ලබා දීම සිදු කළ අතර ඉන් එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබා දීම අවසන් කිරීමට එදින නොහැකි වී තිබුණා. මේ හේතුවෙන් එම සාක්ෂිකරුද ඊයේ දිනයේ පැමිණි අතර ඔහුගේ සාක්ෂි ලබා දීම අවසන් කිරීම සිදුව තිබෙනවා.