මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ සොයා බැලීමට බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්‍ෂණ කොන්දොස්තරවරුන්ටත් සිදුකිරීමට තීරණය කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පවසනවා.
ඒ අනුව මෙම සතියේදී බස්නාහිර පලාත තුළ අහඹු ලෙස මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවද හෙතෙම කියා සිටියා.
බස් රථ රියැදුරුවරුන් මෙන්ම කොන්දොස්තරවරුන්ද රාජකාරී අවස්ථාවේ සම්පූර්ණයෙන්ම මත්පැන් පානයෙන් වැළකී සිටිය යුතු බවත් මෝටර් රථ පනතට අමතරව අධිකාරිය මගින් මේ සඳහා දඬුවම් ලබාදීමට නීතිමය ප්‍රතිපාදන ඇති බවත් ඒම හතා පැවසීය.
බස් රථ බලපත්‍රයක් කොන්දේසි 38ක් යටතේ ලබාදෙන බවද බස් රථ රියදුරුගේ සහ කොන්දොස්තරගේ ක්‍රියාපටිපාටියද එම කොන්දේසිවලට අනිවාර්යයෙන්ම ඇතුළත් වන බවද සභාපතිවරයා කියා සිටියා.
බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ නැවතුම්පළ 65ක් ඇති බවත් එම ස්ථානවලදී අහඹු ලෙස ජංගම රසායනාගාර පරීක්ෂණ රථ යොදාගෙන පරීක්‍ෂණ සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පවසනවා.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බස්නාහිර පළාතේ බස් රථ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන බවත් මේ අනුව බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් බස් රථවල සේවය කරන බවත් හෙතෙම කියා සිටියා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ප්‍රවාහන අමාත්‍යංශය හා පොලිසිය එක්ව මෙම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.













