පෞරාණික වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ජනවාරි මස 28 වන දින රාත්‍රී කාලයේ මාවතගම, කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේලා වැඩවසන ආවාසයෙහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පැහැරගෙන ගිය බවට මාවතගම පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්ඩංගුවට ගැනුණු බවයි.
28 වන දින රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පුද්ගලයින් සිව්දෙනෙක් විහාරස්ථානයට පැමිණි එහි ආවාසය තුළ තැන්පත් කර තිබූ අඩු 1 1/2ක් පමණ වූ රන් පැහැති බුද්ධ ප්‍රතිමාවක් විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය බව පවසමින් ස්වාමීන් වහන්සේලාගෙන් ලබාගෙන එය පැහැගෛන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මේ සම්බන්ධව විමර්ශන සිදුකර මාවතගම පොලිසිය විසින් සිද්ධියට අදාළව සැකකරුවන් 14 දෙනෙක් ඊයේ(31) දින අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැරගන්නා ලද පිළිම වහන්සේ සහ අපරාධය සඳහා යොදාගත් වෑන් රථ දෙකක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 22 හා 56 වයස්වල පසුවන මිනීගමුව, තෙල්දෙණිය, මොනරාගල, මතුගම, මාතලේ සහ රිදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් ඊයේ(31) පිලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පෙබරවාරි මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













