පාසල් සිසුවියන් පිරිසකට අවස්ථා කිහිපයකදී අසභ්‍ය ඡායාරූප පෙන්වූ පුද්ගලයෙකු 20 වනදා සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක බණ්ඩාර මහතා කියා සිටියා.
නානුඔය ප්‍රදේශයේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන අවුරුදු 11-14 අතර වයස්වල පසුවන සිසුවියන් පිරිසකට සැකකරු විසින් අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප පෙන්වූ බවට එම සිසුවියන් විසින් නානුඔය පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
නානුඔය ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි තිදරු පියෙකු වන සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
නානුඔය පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.සැ. සංජීවනී සහ තම පොලිසියේ නිලධාරීන් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් නානුඔය ප්‍රදේශයේ පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ වතු කම්කරු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බවත් ඉන් අනතුරුව මෙවැනි පැමිණිලි පොලිසිය වෙත ලැබෙමින් පවතින බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
නානුඔය පොලිසිය වෙත පැමිණිලි කළ සිසුවියන් හයදෙනා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.













