ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහරදී ඇති බව හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාරවරයා පවසනවා.
අද(07) උදෑසන ඩයගම සිට 6.30ට ගමන් ආරම්භ කරන ලද බස් රථය හැටන් දක්වා ධාවනය කරවන අවස්ථාවේ එයට පිටුපසින් හඹා ආ පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථය හරස් කර රියදුරු අසුනේ දොර හැර ප්‍රහාරය එල්ල කර ඇති බව ධාවන කළමනාකාරවරයා පවසනවා.
ලිදුල මෙරායා නගරය ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් ලංගම බස් රථය විනාඩි 5කට කලින් ධාවනය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන පෞද්ගලික බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම පහරදීම සිදු කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.
ලංගම බස් රථයේ රියදුරාට පහර දෙන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් සිට ඇති බවත් පහරදීම එම බස් රථයේ ගමන් ගත් මගියෙකු සිය ජංගම දුරකථනය මගින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් ධාවන කළමනාකාරවරයා කියා සිටියා.
ධාවන කළමනාකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ ලිඳුල පොලිසියට පැමිණිල්ලක්ද සිදු කරන බවයි.














