පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර මදනමෝදක ගුළි අලෙවි කළ සැකකරුවෙක් හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(19) සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මස්කෙළිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.
සැකකරු මස්කෙළිය නගරයේ ආයුර්වේද ඔසු සැලක් පවත්වාගෙ යන බවත් එම ඔසු සැලට පැමිණෙන පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාවට සැකකරු විසින් මදන මෝදක ගුළියක් රුපියල් 250ක් වැනි මිලකට අලෙවි කරන බවත් හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත ලද තොරතුරක් මත හැටන් කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි නිස්සංක ගොඩමුණ්න මහතාගේ අධීක්‍ෂණය යටතේ වෙළෙඳ සැල පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අලෙවිය සඳහා වෙළෙඳ සැලේ සඟවාතිබූ මදනමෝදක ගුලි 648ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් 162,000ක් බවයි වැටලීම සිදු කරන ලද පොලිස නිලධාරීන් පවසන්නේ.
මස්කෙළිය ප්‍රදේශයේම පදිංචි සැකකරු අවුරුදු 20ක තරුණයෙක් බවත් එම සැකකරු පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව සමග මිත්‍රත්වයක් දක්වමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට වැටලීම සිදු කළ හැටන් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කියා සිටියා.














