
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද උදැසන 9:00 සිට රාත්‍රී 9:00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල යන ප්‍රදේශ සදහා මෙම ජල සැපයුම අත්හිටුවනවා. එමෙන්ම කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.
ඊට අමතරව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උප පොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බැවින් මෙලෙස ජලය සැපයීම අත්හිටුවන බව සදහන්.














