කතරගම දේවාලයේ ප්රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද දිනයේ කතරගම පොලිස් ස්ථානය වෙත කැඳවා තිබෙනවා.
සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
කෙසේවෙතත් අදාළ පැමිණිල්ල විමර්ශනය සඳහා පැමිණිලිකාර පාර්ශවයට සහ විත්තිකාර පාර්ශවයට පොලීසිය වෙත ඊයේ දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී තිබුනා.
එහිදී විත්තිකාර පාර්ශවය ප්රකාශ කර ඇත්තේ, අද දිනයේ දී කතරගම පොලිස් ස්ථානය වෙත පැමිණෙන බවයි.
ප්රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට ලබාදුන් පවුම් 38ක බරකින් යුත් රත් තැටියක් අතුරුදන් වීමේ සිද්ධිය අනාවරණය වීමෙන් පසු දේවාලයේ ප්රධාන කපු මහතා මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කණ්ඩායම් එම සිද්ධියට අදාළව කතරගම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ චුටි කපුරාළ නැමැත්තා අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැරියා.