ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං ව සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද(20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
මොනරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
එදින සිටම නිසි පරිදි සේවා ස්ථානයේ නොරැඳි විෂමාචාරවල යෙදෙමින් අවට සැරිසරමින් සිටි ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
මොහු සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අගෝස්තු මස 30 වනදා පැමිණිල්ලක් කර ඇති බවත් ඒ අනුව සිදු කරන ලද සොයා බැලීමේදී මොහු ජෙරුසමලම ප්‍රදේශයේ රැඳී සිටියදී හමුව ඇති බවත් කාර්යාංශය පවසනවා.
ඒවන විට ඔහුගේ පැවැති දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 5 වන දින ජෙරුසලම රෝහලට ඇතුළත් කළද එදින රාත්‍රීයේ ඔහු එම රෝහලින්ද පැනගොස් ඇති බවයි කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ තරුණයා මෙම කෙටි කාල සීමාව තුළදී කිහිපවරක්ම සිය භාරයේ රඳවා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී තිබෙනවා.
කෙසේ හෝ සැප්තැම්බර් මස 16 වන දින මොහු පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසුව තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමෙන් අනතුරුව අදාළ තරුණයා මෙරටට පැමිණීමට නියමිතව තිබුණා.
ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරිනියක්ද අදාළ තරුණයා සමග මෙරටට පැමිණීමට පියවර ගැනුණා.
දිවයිනට ළඟාවීමෙන් අනතුරුව ඔහු ඥාතීන් වෙත භාරදීමට කාර්යාංශයේ ගුව්න තොටුපොළ ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.