හැටන් නගරයේ පැති වීදියේ සිල්ලර වෙළෙඳ සැලක් පවත්වාගෙන යාමට නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා එම අනුමැතිය ලැබීමට ප්‍රථම එම වෙළෙඳ සැලේ අයිතිකරු විසින් අද(28) දින එම වෙළෙඳ සැලේ මාළු සහ කුකුළු මස් අලෙවි කිරීමට වෙළෙඳ සැල විවෘත කිරීමත් සමග හැටන් නගරයේ උණුසුම් තත්ත්වයක් හටගැනුණා.
එම වෙළෙඳ සැල ඉදිරිපිටට පැමිණි හැටන් නගරයේ මත්ස්‍ය වෙළෙඳුන් කියා සිටියේ නගර සභාවේ අනුමැතියක් නොමැතිව නගර මධ්‍යයේ තවත් මත්ස්‍ය වෙළෙඳ පොළක් විවෘත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.
නගර සභාව මගින් 2026 වසරේ නගර සභාව සතු වෙළෙඳ සැලක මත්ස්‍ය වෙළෙඳ පොළක් පවත්වාගෙන යාමට ටෙන්ඩර්පත් කැඳවා තිබූ අතර එහි ටෙන්ඩරයද ලක්ෂ 12ක මුදලක ප්‍රදේශයේ මත්ස්‍ය වයාපාරිකයෙකු විසින් ලබාගෙන තිබෙනවා.
අලුතින් විවෘත කරන ලද මත්ස්‍ය වෙළෙඳ පොලේ කුකුළු මස් සහ මාළුවලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබෙනවා.
එම මත්ස්‍ය වෙළෙඳ පොළ අසලම පිහිටි තවත් වෙළෙඳ සැල් හිමියන් කියා සිටින්නේ නගර මධ්‍යයේ මත්ස්‍ය වෙළෙඳ පොළක් විවෘත කළහොත් එමගින් විශාල පරිසර හානියක් සිදු වීම හමුවේ තම ව්‍යාපාර කටයුතු ද අඩාල වීමට ඉඩ ඇති බවයි.
එම මත්ස්‍ය වෙළෙඳ පොළට නැගුණු විරෝධය හමුවේ හැටන් පොලිසියේ නිලධාරීන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, ආදායම් පරිපාලකවරයා එක්ව වෙළෙඳ සැල බලපත්‍රය නිකුත් කරන තෙකේ වසා දමන ලෙසට එම වෙළෙඳ සැලේ අයිතිකරුට උපදෙස් ලබාදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා, සභාවේ ලේකම් ශ්‍යාමලී රුපසිංහ මහත්මිය ඇතුළු එම වෙළෙඳ සැලේ අයිතිකරු සහ මත්ස්‍ය වෙළෙඳ පොළ පවත්වාගෙන යන අය සමග සාකච්ඡාවක් පැවැති අතර එහිදී හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඔවුන් හමුවේ කියා සිටියේ සිල්ලර වෙළෙඳ සැලක් පවත්වාගෙන යාමට අවසර ඉල්ලා මස් සහ මාළු විකිණීමට කිසිසේත් අවසර ලබානොදෙන බවයි.











