දමිළ ප්රගතිශීලි සන්ධානය වතුකරයේ ජනතාවට බලපාන ප්‍රධාන කරුණු 11ක් සම්මත කර ගත් බවත් එය වතුකරයේ ජනතාවට ලබාදීමට රජය සමග සාකච්ඡා කරන බව දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.
දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායකවරයා අද(07) ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල හින්දු කෝවිල් සංස්කෘතික ශාලාවේ පැවැති දමිළ ප්රගතිශිලී සන්ධානයේ මහා සභා රැස්වීම අවසන්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දමිළ ප්රගතිශිලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවට පර්චස් 7ක ඉඩම් ලබාදීම, වතුකරයේ වැඩ කරන නොකරන සෑම පුද්ගලයෙකුටම නිවාස සදාදීම, රජය මගින් වතු කම්කරුවන්ට වැඩිකළ රු. 1750 වැටුප කුඩා තේ වතුවලට, තේ වත්තේ වැඩ කරන අනියම් සේවකයන්ට, අනිවාර්යයෙන් ලැබිය යුතු බවත් එයට සමාන තවත් ඉල්ලීම් අටක් මුල් කර ගනිමින් අද(07) දමිළ ප්රගතිශිලී සන්ධානයේ මහ සභාව රැස්වූ බවයි.
එහිදී යෝජනා 11ටම දමිළ ප්රගතිශීලි සන්ධානයේ මහ සභාවෙන් අනුමැතිය ලැබූ නිසා එම ඉල්ලීම ලබාදීමට රජය සමග සාකච්ඡා කරන බවයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියා සිටියේ.
ජනාධිපතිවරයා සහ රජය බලයට ඒමට ප්‍රථම වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දුව නිසි ලෙස ඉටුකර නොමැති බවත් වතුකරයේ ජනතාවට අනුකම්පා සහගතව නොව ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද ලබාදීමට වත්මන් රජය සහ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ඉරානයේ නැවේ සිටි නාවිකයන්ට සිදුකළ මෙහෙයුම් හොඳ දෙයක් බවත් මෙවැනිම ආකාරයට වතු කම්කරුවන් ගැනත් බලන ලෙසයි මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම දමිළ ප්රගතිශීලි මහා සභා රැස්වීමට එම පක්ෂයේ නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන්, වී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන්ද එක්ව සිටියා.














