
ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 05ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි පැවැති මෙම තරගයේදී ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 15.5 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 126 ක් ලබාගෙන ජයග්‍රහණය හිමිකර ගත්තා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 123ක් රැස් කළා. ගාල්ල ඉනිම වෙනුවෙන් ටොම් රොජර්ස් පන්දු 27කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 34ක් රැස් කරමින් ගාල්ල ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. දිනුර කලුපහන පන්දු 19කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 31ක් ලබා ගත් අතර දසුන් ශානක පන්දු 9කින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 20ක්, සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 14ක් සහ චාමික කරුණාරත්න ලකුණු 16ක් රැස් කළා. ජැෆ්නා කිංග්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 32කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 41ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර, චමිඳු වික්‍රමසිංහ පන්දු 16කදී ලකුණු 24ක්ද, අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16කදී ලකුණු 20ක්ද ලබා ගත්තා.














