2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබෙනවා.
කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ III සහතිකය ලබා ඇති හෝ හෙද වෘත්තියේ මාස 11ට නොඅඩු පළපුරුද්ද ඇති, වයස අවුරුදු 25-45 ත් අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අයට මෙම රැකියා සඳහා අයදුම් කළ හැකියි.
එසේම මනා ඉංග්‍රිසි භාෂා හැකියාව ඇති කාර්යාංශය මගින් පවත්වනු ලබන ඉංග්‍රිසි පාඨමාලාව හදාරා ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කිරීමට හැකි අතර, රැකියාලාභීන්ට වසර 5ක වලංගු වීසා කාලයක් හිමි වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
එසේම මාසයකට රුපියල් ලක්ෂ 6ට අධික වැටුපක් උපයා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බවද එම කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.
ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර, මේ වන විට එම අවබෝධතා ගිවිසුම අනුව ලාංකිකයින් 2,656 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.
2026 වර්ෂය ආරම්භ වී ගතවූ සති දෙකක කාලය තුළ ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 107 දෙනෙකු ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශයට හැකියාව ලැබී තිබෙනවා.
ඊශ්‍රායල් රජය වෙනුවෙන් එරට ජනගහණ හා සංක්‍රමණ සේවා අධිකාරිය (PIBA) හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව රජය මගින් පමණක් මෙම රැකියා ලබාදෙනු ලබන අතර, වෙනත් බාහිර ආයතන හෝ පුද්ගලයින් මගින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ලබාගැනීමේ හැකියාවක් නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.
එබැවින් එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය ඉල්ලා සිටිනවා.













