
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීමට තහනම් කිරීම තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තහනම ඔක්තෝබර් මස 8 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12 ඒ 2 වගන්තිය යටතේ මෙම විශේෂ විධානය නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර හිමි වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මෙම නව නියෝගය ප්‍රධාන වශයෙන් එක්වරක් පමණක් භාවිත කරනු ලබන සනීපාරක්ෂක තුවා සහ එක්වරක් පමණක් භාවිත කරන සිහින් සනීපාරක්ෂක තුවා සඳහා අදාළ වනවා. එමෙන්ම, මෙරටට ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කළ යුතු බවද එහි දක්වා තිබෙනවා. එසේ පරීක්ශාවට ලක් කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද සපුරා තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මීට අමතරව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ ප්‍රමිතීන්ට ඉදිරියේදී සිදු කරනු ලබන සියලුම සංශෝධන සඳහා ද මෙම නියෝගය එකසේ බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.














