හැටන්, වටවල, රොසැල්ල, මාණික්කාවත්ත ජනපදයේ නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් 13ක් අද(06) අලුයම පදිංචි නිවාසවලින් ඉවත් කර තිබෙනවා.
වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ එම පවුල් 13ට අයත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ වැලිඔය දමිල මහා විද්‍යාලයේ තාවකාලිකව රැඳවූ බවයි.
අලුයම 1ට පමණ එක්වරම විශාල ශබ්දයක් සමග නිවෙස් දෙදෙරීමට පටන් ගත් නිසා පසුව නිවෙස් කිහිපයක්ම ඉරි තැලීමට පටන් ගත් බවයි එම නිවාසවල පදිංචිකරුවන් කියා සිටියේ.
එම ජනපදයේ නිවාස පනහක් පමණ තිබෙන අතර එම නිවෙස්ද පිහිටා ඇත්තේ නායයාමේ අවදානමකට ලක්ව ඇති නිවාස 13ට පහළින්ය.
අධික බෑවුමක් සහිත ඉඩමක පිහිටා ඇති මාණික්කාවත්ත ජනපදය පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ස්ථාන කිහිපයකින් නායගිය බවයි එහි පදිංචිකරුවන් කියා සිටියේ.
අවතැන් කඳවුරේ සිටින මාණික්කාවත්ත ජනපදයේ අවතැන්වූවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට වටවල පොලිසිය පියවර ගෙන තිබෙනවා.













