මහියංගනය, වැල්වැටිතුරය සහ පුත්තලම යන පොලිස් බලප්‍රදේශවල සිදු වූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(20) සවස් කාලයේදී මහියංගන – බදුල්ල මාර්ගයේ 19 කණුව ආසන්නයේදී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරින් යතුරු පැදියේ පැදිකරු සහ පසුපැදිකාරිය බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් පමණ අයෙකි.
අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර වැල්වැටිතුරය, උඩුප්පිට්ටි, වදිරි අතුරු මාර්ගයේ උඩුප්පිට්ටි දෙස සිට වදිරි දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී ද අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු මන්දිගායි රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76ක පුද්ගලයෙක් අනතුරෙන් මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘතදේහය මන්දිගායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්වැටිතුරය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පුත්තලම කල්පිටිය මාර්ගයේ පාලවිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පාලවිය ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ ඉන්ධන බවුසර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.