ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව සහ දෙරටේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව නිමාවට පත් ව තිබෙනවා .
මෙම වාර්ෂික හමුව, ද්විපාර්ශ්වික සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙසයි සැලකෙන්නේ.
මෙම 35 වැනි හමුව, ඉකුත් 11 වැනි දින පැවැත්වුණා.
එය කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍රීය සීමාවේදී, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාව මතදී සාර්ථකව පවත්වනු ලැබුවා.
දෙරටේ නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර අන්තර් සහයෝගීතාවය සහ ඒකාබද්ධ ක්‍රියාවලියක් ගොඩනැගීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබුණා.
ඒ අනුව, ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝගවලට සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබුවා.
35 වැනි වරට පැවති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේ උතුරු නාවික විධානයේ ආඥාපති වන රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින්.
ඊට අමතරව, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති වන කොමදෝරු අරුණ වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.
ඉන්දීය නාවික හමුදා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේ ඉන්දියාවේ තමිල්නාඩු සහ පුදුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරී වන රියර් අද්මිරාල් සතිෂ් ශේනායි විසින්.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වන කපිතාන් ආනන්ද් මුකුන්දන් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
මෙම රැස්වීමේදී දෙපාර්ශ්වය විසින් දෙරටේ සමුද්‍රීය සීමාවන්හි ආරක්‍ෂාව සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.













