
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ පැවැත්වූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. මෙම නඩුව විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මෙම නඩුව සදහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබෙනවා . දිනපතා පැවති සාක්ෂි විමසීම්වලින් අනතුරුව පැමිණිල්ල සහ විත්ති පාර්ශවයන් වෙනුවෙන් සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු මස 24 වනදා අවසන් කරනු ලැබුවා. නඩුවට අදාළ දීර්ඝ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල , ප්‍රකාශ කළේ සැප්තැම්බර් 22න දින ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන තිබෙනවා . සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය, තියුණු ආයුධ, ගිනි අවි ඇතුළු ද්‍රව්‍ය 2,076 ක් නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති බවයි අධිකරණය හමුවේ අනාවරණය වුණේ. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරකයන් හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක්, කුඩා ළමයින් තිස්පස් දෙනෙකුට ආසන්න පිරිසක් ඇතුළු පුද්ගලයන් 274 දෙනකු මරණයට පත්වූ අතර, තවත් 577 දෙනෙකුට තුවාල සිදුවුණා.














