මෙරට ආපදාවට පත් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද සිදුකලා.
මේ සඳහා ඉදිරි මාස 04ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති .
මේ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මේ වෙනුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති බවයි.
එම ලැයිස්තුව අංශ හතක් ආවරණය වන පරිදියි සකසා තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස හතර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් උත්සාහ කරන බවයි ඔහු සඳහන් කලේ.
රජය , සහන සහ ප්‍රතිසාධන කටයුතු මෙහෙයවන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් හවුල්කරුවන් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සඳහන් කළේ, මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 9.5ක් ලැබී ඇති බවයි .
ඒ සදහා ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් සහයෝගය ලබා දී තිබෙනවා .
පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණ වැඩසටහනක් සමඟින් ඉදිරි මාස කිහිපය තුළ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රැස්කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බවයි මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සඳහන් කළේ.













