කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු , එරට හමුදා සේවයට බදවා ගැනීමට තැත් කිරීමේ ප්‍රයත්නයක් වළකා ගෙන , ඉන් මිදී , 03/02 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් අතර ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ .මොවුන් මෙම සිදුවීම නිසා බියට පත් වී සිටි අතර එක් අයෙකුට රුපියල් දහහත් ලක්ෂ පනස් දහසක පමණ මුදලක් මෙම ගමන සදහා වැය වී ඇති බවත් ඔවුන් එම මුදල් , රැකියා නියෝජිත ආයතනයෙන් ආපසු ලබා ගැනීමට අදහස් කරන බැවින් , ඔවුන් මෙම රුසියානු ගමන පිළිබඳ අත්දැකීම් මාධ්‍ය වෙත පැවසීම , එම මුදල් ආපසු ලබා ගැනීමට බලපෑමක් විය හැකි බව පවසා , කඩිනමින් ගුවන් තොටුපොළෙන් පිට වීමට තැත් කළහ.එහෙත් ගම්පහ , ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකු වන මිලින්ද සේනාධීර මහතා මෙම රුසියානු ගමන පිළිබඳව මෙසේ පැවසීය .මෙම ගමන සදහා සදහා තම ඉඩම් , ගෙවල් මෝටර් රථ , ස්වර්ණාභරණ විකුණා මුදල් සොයා ගෙන තිබුණා . රැකියා නියෝජිත ආයතනයට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසක් දුන්නා . ඊට අමතරව අතේ වියදම් වලට , ඇදුම් පැළදුම් ගන්න තවත් විශාල මුදලක් ද වැය උනා .අපි පෙබරවාරි 09 දින කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව ගොස් එතැනින් තවත් වෙනත් ගුවන් යානයකින් රුසියාවේ සාන්ත පිට්ස්බර්ග් නුවර වෙත ගියා . එතැනින් කිලෝ මීටර් 40 ක් වැනි දුරකින් පිහිටි මහළ් නිවාසයක අපි සති දෙකක් වගේ කාළයක් හිටියා .ඒ අතරතුර අපි රැකියාවට අවශ්‍ය බැංකු ගිණුම් කාඩ්පත් , ආදායම් බදු ලිපි ලේඛන වැනි ලියකියවිලි සකස් කර ගත්තා.ඉන්පසු එතැන් සිට පැය 36 ක කිලෝ මීටර් 2,500 ක් දුර ගෙවා හමුදා කදවුරකට පැමිණියා . එහි පහසුකම් එතරම් නැහැ . වතුර හිගයි . පට්ට ශීතලයි. එම කදවුර තාවකාලිකව ” පැලට් ” ගසා ඉදි කර තිබූ එකක් . ඒකෙ ශීතල අඩු කරන්න , කදවුර මැද ගිනි මැළයක් ගහල තිබුණා . වැසිකිළි යන්න තිබුණ කාණුවකට ඒ කදවුරේ දී අපිට යුධ අවි පුහුණුවක් ලබා දුන්නා . අපිට එන්නත් තුනක් ද ලබා දුන්නා . ඒවා රෝග බෝවීම වැළැක්වීමට , අවට පරිසරයේ ශීතල බලපෑම අවම කිරීමට සහ ඉක්මනින් තුවාල සුව වීමට බවයි ඔවුන් පැවසුවේ .
ඒ කදවුර තුළ දී අපට තවත් ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පමණ හමු උනා . ඔවුන් ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිත ආයතනය මගින් සහ වෙනත් සම්බන්ධතා මගින් මේ කදවුරට ඇවිත් තිබුණා . ඔවුන් අපිට කිව්වා හමුදා සේවයට බදවා ගැනීමට තමයි මේ ගෙනැවිත් තියෙන්නේ . දැන් ඉතිං ගැලවීමක් නැහැ කියල .ඒත් මේ කදවුර තුළ ඉන්දියා , පාකිස්තාන , නේපාල , ඝානාව , ඇමෙරිකානු රටවල කලු ජාතිකයන් මෙන්ම රොමේනියා හංගීරියා බල්ගේරියාව ඇතුළු බෝල්ටික් රටවල් කීපයකටම අයත් ජාතිකයන් කැමැත්තෙන්ම මෙහි සේවය සඳහා පැමිණ සිටියා . ඒ අතර රුසියානු – යුක්‍රේන යුධ බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලට කිලෝ මීටර් 400 ක් පසු පසින් සිටින ශ්‍රී ලාංකික යුධ සෙබලෙකු එවා තිබූ හඩ පටයකට සවන් දුන්නා . එහිදී ශ්‍රී ලංකාවේ සිදු වූ යුද්ධයට හාත්පසින්ම වෙනස් යුද්ධයක් මෙහි සිදු කෙරෙන අතර , තාක්ෂණික සහ විද්‍යාත්මක බවින් අනූන යුද්ධයක් මෙහි ක්‍රියාත්මක වන බව පවසා තිබුණා . එහිදී මිය යන හෝ තුවාල ලබන සෙබළුන් බේරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන අතර තමන්ම තුවාල වුවහොත් , ඉන් බේරී පැමිණ , තුවාල සදහා බෙහෙත් දමා ගැනීම සිදු කර ගත යුතු බව පවසා තිබූණා .
එසේම මෙම කදවුරේ දී අප යුධ බිමට යාමට පෙර , අපගේ සියලුම ඇදුම් පැළදුම් භාර ගෙන ගිනි තබා විනාශ කරන බවත් , ඒ වෙනුවට යුධ ඇදුම් ලබා දෙන බවත් , එහි සිටි ශ්‍රී ලාංකිකයන් අප හා පැවසුවා . එයින් අප වඩාත් බියට පත් උනා.
මේ අතර අප මෙම කදවුරට රැගෙන ආ රුසියානු ජාතික හමුදා නිලධාරීවරයාට , පිට්ස්බර්ග් නුවර සිට අපගේ ලියකියවිලි ඇතුළත් ලිපිගොනු රැගෙන ඒමට අතපසු වී තිබූ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් , අප මෙහි තවදුරටත් රැදී සිටිමින් රැකියා කිරීමට අකමැති බව ප්‍රකාශ කළා .එහිදී ඔවුන් අපගෙන් එසේ අකමැති වීම පිළිබඳව විමසා සිටි අතර , අප තරයේ අකමැති බව ප්‍රකාශ කිරීම නිසා , ඔවුන් අපව ආපසු යැවීමට තීරණය කළා .ඒ අනුව අපි කිලෝ මීටර් 40 කට වැඩි දුරක් පයින් ගමන් කර , අති දුෂ්කර ගමනකින් පසු පිට්ස්බර්ග් නුවර බලා පැමිණෙන දුම්රියට ගොඩ උනා. එම දුම්රිය
ඉතා සුවපහසු , විධිමත් එකක් . අපගේ සියලුම ලියකියවිලි පරීක්ෂා කර බලා අපට සුවපහසු නිදන මැදිරි ලබා දුන්නා .අපි පෙබරවාරි 26 වෙනිදා කිලෝ මීටර් 2,500 ක දුර පැය 36 ක් තුළ ගෙවා දමමින් පැමිණ , පිට්ස්බර්ග් නුවර ගුවන් තොටුපොළ වෙත පැමිණියා . ඉන් පසු දින අප පිට්ස්බර්ග් නුවර ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාම සදහා ගුවන් යානය වෙත පිවිසුනා . අපිට ඇගට ලේ ටිකක් ඉනුවෙ පිට්ස්බර්ග් නුවර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පසු කර යෑමෙන් පසුවයි . එතෙක් අපි බියෙන් හිටියෙ . මොකද ඒ ඔවුන්ගේ රට නිසා.අපි 17 දෙනා 03/02 දින පස්වරු 03.45 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙසේ පැමිණියා .