
ගිනිකොනදිග චීනයේ ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ දහවල් හටගත් දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ. සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ දර්ශනවලට අනුව, ගිනිගැනීමට ලක්වූ ගොඩනැගිල්ලෙන් විශාල කළු දුමාරයක් අහසට නැඟී එන අතර, කර්මාන්ත ශාලාවේ වහලය මත සේවකයින් පිරිසක් සිරවී උපකාර ඉල්ලා සිටින අයුරු දක්නට ලැබෙනවා. රාජ්‍ය විකාශන මාධ්‍ය වාර්තා කළේ, ගලවා ගැනීමේ නිලධාරීන් සිය ගණනක් වහා ක්‍රියාත්මක වී කර්මාන්ත ශාලාව තුළ සිටි 200කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට සමත්ව ඇති බවයි. කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මෙම ශෝචනීය සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, ගින්නෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බවයි. අනතුරට හේතුව වහාම සෙවිය යුතු බවත්, ඊට වගකිව යුතු හෝ නොසැලකිලිමත් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් වගකිය යුතු ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බවද ඔහු අවධාරණය කළා..














