වැලිමඩ සිට මීගමුව දක්වා නුවරඑළිය හරහා ධාවනය කළ ලංගම බස් රථයක රියදුරු නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අද(03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය ඩිපෝවට අයත් එම ලංගම බස් රථය ධාවනය කරවන අවස්ථාවේ නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතාඑළිය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලදාරීන් බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී රියදුරා අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු වූ නිසා බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇති අතර පසුව නුවරඑළිය පොලිසියේ නිලදාරියෙකු විසින් මගීන් සමග බස් රථය නුවරඑළිය පොලිසිය වෙත රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී බස් රථයේ රියදුරාගේ අසුන පිටුපස නීති විරෝධී මත්පැන් (කසිප්පු) සහිත කෑන් එකක් තිබී පොලිස් නිලදාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
බස් රථය ධාවනය කරවන අවස්ථාවේ වතුර බොන මුවාවෙන් රියදුරා මත්පැන් පානය කරමින් බස් රථය ධාවනය කරවන බවට පොලිසිය සැක කරනවා.
එම ඩිපෝවේ වෙනත් රියදුරෙකු නුවරඑළිය වෙත කැඳවා බස් රථයේ සිටින මගීන් ගමනාන්තය දක්වා රැගෙන යන ලෙසට නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු බස් රථ රියදුරා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.