
රිමාන්ඩ් භාරයට පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නගා ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවා. එම චෝදනා පදනම් විරහිත හා දේශපාලනිකව පොළඹවීමක් මත සිදුකළ චෝදනා බවට සිය පක්ෂය විශ්වාස කරන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ. අදාළ ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශාල බලතල සහිතව නිර්මාණය කරනු ලැබුවේ මෙරට තුළ සිදුවිය හැකි දූෂණ හෝ වංචා පිටු දැකීමට බවයි. එමෙන්ම රට තුළ පිහිටා ඇති ස්වාධීන රාජ්‍ය ආයතන දේශපාලනික තර්ජන සඳහා මෙවලමක් වශයෙන් භාවිතා කිරීමට පෙළඹේ නම් රටට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකක් දැක්විය යුතු බවද එම ලිපියේ දැක්වෙනවා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් පීඩාවට පත්ව ඇති මෙරට ජනතාව එක්රැස් කරමින් ජන රැලියක් එළැඹෙන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ. එවැනි පසුබිමක එම රැලිය සඳහා දැවැන්ත ජනතාවක් සහභාගී වනු ඇති බවට ලැබෙමින් තිබූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීම ප්‍රශ්න සහගත බවද පක්ෂ මහලේකම්වරයා අදාළ ලිපිය මගින් අවධාරණය කරනවා. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කළද එළැඹෙන 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජන රැලිය ඔහු පැතූ අයුරින්ම පවත්වන බවද එම එහි සඳහන් කර තිබෙනවා.














