හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ(19) දිනයේ ධාවනය වූ ලංගම, පෞද්ගලික බස් රථ ඇතුළු පෞද්ගලික වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක එම්.එස්.එල්. චන්දන බණ්ඩාර මහතා කටයුතු කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ ඉල්ලීමක් මත නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශයේ නිලධාරීන් සමග පැමිණි මෝටර් රථ පරීක්ෂක එම්.එස්.එල්. චන්දන බණ්ඩාර මහතා ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා ඇතුළු රථ වාහන අංශයේ නිලධාරීන් සමග එක්ව ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී එම මාර්ගයේ ධාවනය වූ වාහන 115ක් හදිසි පරීක්ෂා කර තිබෙනවා.
ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් සිදු කළ මෙම පරීක්ෂාවේදී අධික ලෙස වායු විමෝචනය තිබූ වාහන, අඩුපාඩුකම් සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන සහ මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරීමටත් මෙම වාහන පරීක්‍ෂාවේදී මෝටර් රථ පරීක්‍ෂකවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
තාවකාලිකව ධාවනය තහනම් කරන ලද වාහන අතර, ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක්ද වනවා.
ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරීක්ෂකවරයාගේ භාරයට ගැනුණු අතර එම වාහන අලුත්වැඩියා කර ජුනි 30 වන දිනදී වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙනවිත් යළිත් පරීක්ෂාවට ලක් කළ යුතුයි.