2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා.
ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, ක්‍රිකට් තරග ඉසව්ව ආරම්භ වීමට නියමිතයි .
එමෙන්ම ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් තරග ජූලි 19 සහ ජූලි 29 යන දිනවල පැවැත්වෙනු ඇති .
ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් 2028 වසරේ ජූලි 14 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිත වුවද, ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා කිහිපයක් ඊට දින කිහිපයකට පෙර ආරම්භ වනවා.
කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගාවලිය ජූලි 12 වැනිදා ආරම්භ වන අතර, එහි පදක්කම් තරග ජූලි 19 දින පැවැත්වීමට නියමිතයි.
දෙවන තරගාවලිය ජූලි 22 වැනිදා ආරම්භ වනවා. එහි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජූලි 29 දා වන අතර ඔලිම්පික් උළෙලේ සමාප්තියද ඊට පසු දින සිදු වනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ තරගාවලි අනුපිළිවෙල සංවිධායකයින් විසින් මෙතෙක් නිවේදනය කර නැහැ.
පිරිමි සහ කාන්තා තරගාවලි දෙකෙහිම කණ්ඩායම් හය බැගින් සහභාගී වන බව සංවිධායකයින් තහවුරු කර තිබෙනවා.
ජූලි 17 සිට 20 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුවේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ක්‍රියාවලිය පිළිබඳව තීරණය කිරීමට නියමිත බව වාර්තා වනවා.
බොහෝ දුරට, කණ්ඩායම් ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තීරණය වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
තවද ඇමෙරිකාව සත්කාරකත්වය දරන බැවින් තරගාවලියට ක්‍රීඩා කරන රටවල් හයෙන් එක් කණ්ඩායමක් බවට ඇමෙරිකාව පත් වීමට ද ඉඩ තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ඇතුළත් වන්නේ 1900 වසරෙන් පසුවයි.