ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට අරම්භ කර තිබුණා .
මෙම වැඩසටහන සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද මේ අයුරින් විමධ්‍යගත කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති.
මෙම වැඩසටහනත් සමඟ වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදාවෙනවා .
මේ අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීමටද බලාපොරොත්තු වන අතර තවද, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා.