නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින(16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු, උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක ැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ. කළුතර සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
කළුතර සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයින ටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.













