දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙන එන බවත් ඒ පනතට පක්ෂව හා විපක්ෂව මත තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා

එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ  ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අවංක මහජන නියෝජිතයෙක් නම් දුෂණ විරෝධි පනත තුන්වර කියවීමේ අවස්ථාවේ විරුද්ධ විය නොහැකි බවයි.

අමාත්‍යවරයා මේ පිලිබදව අදහස්  පළකලේ තිස් තුන්වන ජාතික සමථ දින සැමරුම් උත්සවය වෙනුවෙන් වු විශේෂ සැමරුම්ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  සහභාගී වෙමිනි.

දැනට ලංකාවේ අධිකරණවල නඩු එකොලාස් ලක්ෂ විසි හත් දහසක් තිබෙන බවත් පසුගිය වසර හය තුල සමථ මණ්ඩල සදහා යොමු වු නඩුත් අධිකරණවලට යොමු වු වා නම් තවත් නඩු ලක්ෂ තුනක්වත් අධිකරණවල ගොඩ ගැසීමට ඉඩ තිබු බවත් ඒ මහතා වැඩිදුරත් සදහන් කර තිබෙනවා

එහිදී අදහස් දැක්වූ ඒ මහත මෙලෙසද අදහස් ප්‍රකාශ කර සිටියා

“අල්ලස්  කොමිෂන් සභාව තිබෙන්නේ මෝරු අල්ලන් නෙමෙයි, හාල්මැස්සන් අල්ලන්න කියලා මතයක් පවතිනවා. ඒ නිසා අපි දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙනාවා. ඒ පනතට සමහරු පක්ෂයි, සමහරු විපක්ෂයි, ආණ්ඩුවේ ඉන්න සමහර අයත් පක්ෂයි, සමහරු විපක්ෂයි, විපක්ෂයේ ඉන්න අය සාමාන්‍යයෙන් දුෂණයට විරුද්ධයි, නමුත් ආණ්ඩු පක්ෂයට ආවහම ඒ විරෝධය නැතිව යනවා. අපි ආණ්ඩුවේ ඉදන් දුෂණ විරෝධි පනත ගෙනාවා, දේශපාලඥයින් දුෂිතයි, රාජ්‍ය නිලධාරීන් දුෂිතයි කියලා මුළු රටම කථා කරනවා. නමුත් ඒ වෙනුවෙන් කරන්න ඕන විකල්පය කුමක්ද කියලා කිසිම කෙනෙක් කථා කරන්නේ නැහැ. දේශපාලඥයින්ට තනතුරු සදහා එන්න තිබෙන ක්‍රමයම දුෂිතයි, මේ රටේ මැතිවරණ ක්‍රමය දුෂිතයි, මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අපි උත්සාහ කරනවා. ඒ සදහා මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත අපි ගෙනාවා. විවාදයට ගන්න කොට සියලු දෙනා පක්ෂව කථා කළා , නමුත් පාර්ලිමේන්තු ඡන්දයේදී විපක්ෂය විරුද්ධ වුණා. අපි දුෂණ විරෝධි පනත් කෙටුම්පත දින දෙකක් විවාද කළා. දැන් අනිද්දා තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව තිබෙනවා. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යම්කිසි මහජන නියෝජිතයෙක් අවංකවම ජනතාවට සේවය කරන්න මන්ත්‍රි ධුරය ලබා ගෙන තිබෙනවා නම් මේ පනතට විරුද්ධ වෙන්න බැහැ.හැමෝම කියනවා ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා, අපි ඒ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරමින් ඉන්නේ. අපි අධිකරණ අමාත්‍යාංශය ලෙස වගකීම ඉටු කරනවා”.

WhatsApp Group

Skip to content