ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.
එම පක්ෂ වල නියෝජිතයින් සදහන් කලේ නොවැම්බර් මස 21වන දා පස්වරු 02.00ට මෙම රැළිය නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මහජන හඬ නමින් මෙම මාධ්‍ය හමුව අද කොළඹදී පැවැත්වුණා.
මේ සදහා උදය ගම්මන්පිල, සාගර කාරියවසම්, මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩී.වී චානක, මොහොමඩ් මුසම්මිල්, අජිත් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, සාගල රත්නායක, ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටියා.
ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ නැංවිම සඳහා දේශපාලන පක්ෂ රැසක්, සිවිල් සංවිධාන හා ස්වාධීනව කටයුතු කරන හිටපු මැති ඇමතිවරු රැසක් මේ සදහා එක් වීමට නියමිතව ඇති බවයි .
මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් සදහන් කලේ පාලන බලය ලබා ගැනීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් කියූ අසත්‍ය කරුණු මේ වන විට ජනතාව අවබෝධ කර ගනිමින් සිටින බවයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුවට විරුද්ධ පක්ෂය කිසිදු බාධාවක් නොකළද ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට හැකිවී නොමැති බවයි










