කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකරු රටින් පළා යාම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.

පොලිසිය පවසන්නේ වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙක් මෙලෙස රටින් පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගැනුණු බවයි.

සැකකරු වසර ගණනාවක් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයෙක් බවද පොලිසිය පවසනවා.

කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේ මාර්ගයේදී ඝාතනයට ලක්වූ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් බවත් ඇය ඊයේ දිනයේ සවස සේවය නිමවී නිවස බලා යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය පවසන්නේ.

පොලිසිය සැක කරන්නේ මෙම ඝාතනය අනියම් ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි.

ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.


කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කතක් ඝාතනය කෙරේ [Jan 10, 2024 at 08:17]

කහතුඩුව අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේදී කාන්තාවකට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය කියා සිටියේ ඊයේ(09) සවස කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

කහතුඩුව පොලිසියට ලද පැමිණිල්ලක් මත කරන ලද විමර්ශනයකදී එලෙස ඝාතනයට ලක්ව සිටි කාන්තාවකගේ මෘතදේහය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් පමණ වන කාන්තාවකි.

ඝාතනයට ලක්වූ කාන්තාව අධිවේගී පිවිසුම අසලින් ගමන් ගනිමින් සිටියදී කාර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත් ඝාතනය සිදු කරන ලද සැකකරු හඳුනාගෙනඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර ඌරගස්මංහන්දිය, තොටකනත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ තලටිගොඩ, තොටකනත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ පිට ප්‍රදේශයේ පිළිස්සුම් තුවාලයක් දක්නට ලැබෙන බවයි පොලිසිය කියා සිටියේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content