අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එලෙස සංසරණය වූ ඡායාරූපවලින් දක්නට ලැබුණේ ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරයයි.
මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

එසේම පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා අවුකන පුදබිම වෙත පිටත්කර යවා ඇති බවයි.

ඉතිහාසයේ සඳහන් වන්නේ ධාතුසේන රජතුමන් විසින් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවූ බවයි.

ප්‍රතිමාවේ සිවුරේ රැලි ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේ මෙරට අතීත කලාශිල්පයේ අද්විතීය බව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසයි.

WhatsApp Group

Skip to content