හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් නික්ම ගියා.
ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවාස අද වනතුරු භාවිත කල අතර, ඊයේ සම්මත වූ පනතට අනුව ඔහුටද එම වරප්‍රසාදය අහිමි වුනා.
ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත ගමන් කළා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවසට අද උදෑසන සිටම දේශපාලනඥයින් , විදෙස් නියෝජිතයින් සහ මහ ජනතාව රැසක් පැමිණ තිබුණා.
ඒ මහින්ද රාජපක්ෂ මහතා අද නිල නිවසින් පිටත්ව යාමට නියමිත බවට වාර්තා වීමත් සමඟයි.
හිටපු ජනාධිපතිවරයා සිය නිල නිවසින් පිටව යාම අද දහවල් 01.00 ටපමණ සිදු වුණා.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
යම් හේතුවකින් අදාළ නිල නිවෙස් භාරදීමට කටයුතු නොකරන්නේ නම් ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දිමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.