රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස් පන් දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(14) සවස නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබාදෙන බව පොරොන්දුවී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කීපයකදී මුදල් ලබාගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පසුගිය 07 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා
ඒ අනුව කාර්යාංශය විමර්ශන දියත් කර තිබූ අතර විමර්ශනයේදි අනාවරණය වූ කරුණු අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා.
විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත් වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.