මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් අද(25) දින උදෑසන 11 සිට 11.30 දක්වා පැය භාගයක කාලලයක් සේවා කටයුතුවලින් ඉවත්ව රෝහල ඉදිරිපිට කළු පටි පැළඳ විරෝධතාවයක නිරතව තිබෙනවා.
පසුගිය 23 වනදා රාත්‍රී 11ට පමණ බීමත්ව රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහල් වාට්ටු සංකීර්ණය වෙත පැමිණ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට බැනවැද පහරදීමට තැත්කර පසුව එම පුද්ගලයා රෝහලෙන් පලාගොස් තිබෙනවා.
එම සිද්ධියට විරෝධය පාමිනුයි මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් මෙලෙස කළු පටි පැළඳ විරෝධතාවයේ නිරතව අත්තේ.
මෙවැනි සිද්ධීන් යළි රෝහල තුළ ඇති නොවීමට රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් වග බලා ගත යුතු බවත් රෝහලට පැමිණ කලහකාරී ලෙස හැසිරී පහරදීමට තැත් කළ පුද්ගලයා සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියටද පැමිණිල්ලක් කර ඇති බැවින් එම සැකකරු සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද විරෝධතාවයේ නියැලි සිටි සේවකයින් ප්‍රකාශ කළා.
අප මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මස්කෙළිය ඩීසයිඩ් වතුයායේ පදිංචිකරුවෙක බවත් එම සැකකරුව මස්කෙළිය පොලිසිය විසින් ඊයේ(24) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවත්ය.
සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත අද(25) දින ඉදිරිපත් කරන බවද මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියා.
මෙවැනිම සිද්ධියක් පසුගියදා ඩයගම ප්‍රාදේශීය රෝහලේද සිදුවූ අතර එම සිද්ධිය පදනම් කර ගනිමින් එම රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් රෝහලේ සේවා කටයුතුවලින් දින කිහිපයක් බැහැරව සිටි අතර ඊයේ 24 දින යළිත් එම රෝහලේ දෛනික සේවා කටයුතු යළි ආරම්භ කරනු ලැබුවා.













