ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ දෙසැම්බර් මස 30 වන දින කොහුවල, බෝධිවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයට අදාළ යතුරු පැදියේ පැදිකරු, ගිනි අවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවිය ප්‍රවාහය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකෙු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(03) දින දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කොහුවල පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 25, 28, 33 හා 45 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
වැටලීමේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 03ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව පතරොම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් සහ අපරාධයට යොදා ගත් යතුරු පැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












