
කළුතර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(28) පෙරවරු 9ට පමණ කළුතර මුස්ලිම් පල්ලිය පාර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
කළුතර දකුණ පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කළුතර දකුණ, මරික්කාර් වීදියේ පදිංචි ව්‍යාපාරිකයෙකුට බවටයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් පැමිණි කාර් රථය මාර්ගය අයිනේ නවතාගෙන සිට අදාළ ව්‍යාපාරිකයා යතුරු පැදියෙන් එම ආසන්නයට පැමිණීමත් සමග මාර්ගය හරස් කොට වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවටයි වාර්තා වන්නේ.වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.













