රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සීගිරියේ ”අතුරුදහන්” නමින් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු සීගිරිය පොලිසියේ උප පොලිස් පරීක්ෂිකාවක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඇතුළු පිරිසක් විසින් ඊයේ(04) දින පස්වරුවේ සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සීගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා එන් .ඩබ්ලිව්. වින්ද්‍යා දර්ශි මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලද හදිසී මෙහෙයුමකදී පොලිස් පරීක්ෂිකා වින්ද්‍යා දර්ශි මහත්මියට නැගුනු සැකයක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.
සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පදිංචිරුවෙකු වන ප්‍රදේශයේ ”අතුරුදහන්” අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු සන්තකයේ තිබීම කුශ් ග්‍රෑම් 100 ක් මිලිග්‍රෑම් 280 අයිස් ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 11 රුපියල් විසිතුන් දහසකට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන දෙකක් සන්තකයේ තිබීම අත්අඩංගුවට ගැනීමට මෙම උප පොලිස් පරීක්ෂිකාවට හැකි ව තිබෙනවා.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල සහකාර පොලිස් අධිකාරියේ ඩබ්ලිව්.ජී.එන්.එම්. චන්ද්‍රසේකර මහතාගේ නියෝගයක් අනුව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ජේ.ජී.එන්. තිලක් කුමාර මහතා ඇතුළු පොලිසියේ නිලධාරීන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ(04( දින පස්වරුවේ සීගිරිය පොලිස් වසම පුරා සිදු කර තිබෙනවා.
එහිදී පොලිස් කණ්ඩායමක් භාරව කටයුතු කරනු ලැබ ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා වින්ද්‍යා දර්ශි මහත්මියයි. තම කණ්ඩායම සමග යතුරු පැදිවලින් ග්‍රාමීය ප්‍රදේශවල මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින අතර රංගිරිගම ප්‍රදේශයේ පුද්ගලයකු මහ මඟ බස් නැවතුමක් ළඟ බෑගයක් අත තබාගෙන රැඳී සිටින අයුරු ඈත සිටම උප පොලිස් පරීක්ෂිකාව දැක තිබෙනවා.
ඇයගේ නිල ඇඳුම දුටු විගස අත තිබූ බෑගය හෙමින් සීරුවේ ඔහු පිටුපසට ගන්නා අයුරු පොලිස් නිලධාරිනියගේ නෙත ගැටී තිබෙනවා.
වහාම යතුරුපදිය නැවතු ඇය මෙම පුද්ගලයා සතුව තිබූ ගමන් බෑගය අත්අඩංගුවට ගෙන සෙසු පොලිස් නිලධාරීන් සමග ඔහුගේ කලිසම පරීක්ෂා කර තිබෙනවා.
එහිදී එක සාක්කුවක තිබී අයිස් මත්ද්‍රව්‍ය බෑගයේ සඟවාගෙන තිබූ කුෂ් නමැති මත්ද්‍රව්‍යාත් සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
සැකකරු මිට පෙර ද ගංජා සමග මෙම උප පොලිස් පරීක්ෂිකාව විසින්ම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු පිළිබඳව අධිකරණයට අද(05) දින කරුණු වාර්තාකොට රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසරය ලබා ගන්නා බව සීගිරිය පොලිසිය පවසනවා.