ක්‍රියාත්මක කිරීම අත්හිටවු 06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොඩියුල ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් එප්පාවල නගරයේදී ඊයේ (21) විරෝධතාවක් පවත්වා තිබෙනවා.
2026 හය ශ්‍රේණිය අත්හිටවු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යළි බල ගැන්වීම උදෙසා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ ගුරු, සිසු, දෙමාපිය එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
“06 ශේණිය දරුවන්ට නව විෂය මාලාව දෙන්න”, “ ජනපති මාමේ අපි කැමති අලුත් වෙන්න… ඇයි නොදෙන්නේ ඒකට ඉඩ”, “පැරණි විෂය මාලාව අපේ දරුවන්ට එපා”, “එදත්, අදත්, හෙටත් පරිප්පු ඇට අලවන්න අපේ දරුවන්ට ඉඩ දෙමුද”, “අපිට දෙන්න ප්‍රතිසංස්කරණ අපේ ළමුන්ට ලොව දිනන්න” ආදී සටන් පාඨ සහිත විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් සිසු දරු දැරියන් හා දෙමාපියන් මෙන්ම ගුරුභවතුන්ද විරෝධතාවයට එක්ව තිබෙනවා.
ඔවුන් එප්පාවල බැංකු පෙදෙසේ විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී අදහස් දැක්වූ 06 ශ්‍රේණිය සිසුවකුගේ පියෙකු වන ලලන්ත කුළතුංග මහතා,
“නව විෂය මාලාව පිළිබඳව දෙමාපියන් හැටියට අපි බලාපොරොත්තු වුණා.
සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් තමයි අපි මේ රජය පත් කලේ.
පාර්ලිමේන්තුවේ ආසන 159 ක විශාල බලයක් දුන්නා මේ වෙනස කරන්නට.
හැබැයි ඔවුන් මේ වෙනසට අත ගහලා අපිට ඒ සිහින ලෝකය පෙන්නුවා. දැක්ම පෙන්නුවා.
ඒ මොඩියුලර් ටික අපිට ලබා දුන්නා. ළමයි ඒවා පරිශීලනය කළා. දෙමාපියෝ හැටියට අපිට ලබා දුන් දැනුම්වත් කිරීම් අනුව අපි පන්ති කාමර පවා සකස් කළා.
අපිට දුන්න ඒ අවස්ථාව යළි අපෙන් උදුරා ගන්න එපා කියන ඉල්ලීම තමයි ජනාධිපතිතුමන්ගෙන්, අගමැතිතුමියගෙන් හා අධ්‍යාපන බළධාරීන්ගෙන් ඉල්ලන්නේ.
අපි දන්නවා මේ ආණ්ඩුව විපක්ෂයේ ඉඳලා කෑකෝ ගහලා බොහෝම දර දිය ඇදලා ගෙනාපු ආණ්ඩුවක්.
ආණ්ඩුව දැනගන්න ඕන පාරේ උද්ඝෝෂණ කරනවා කියන්නේ කොච්චර අමාරුද කියලා. එයාලා ඒක අත්වින්දා. එයාලා ඒ ඉරණම අත්විඳපු අය.
අපි මේ විදිහට දෙමාපියෝ එකතු කර ගන්න ලොකු කැපකිරීමක් කරන්න ඕන.
වැඩි දිනයක් නෑ… ආණ්ඩුව මේක ආපස්සට ගත්තේ නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට මුළු රටේම දෙමාපියෝ ලක්ෂ 07 කට වැඩි පිරිසක් එකතු වෙනවා.
අපිට දැනගන්නට ලැබුණා මේ පිළිබඳව බ්‍රහස්පතින්දා සිකුරාදා පාර්මේන්තුවේ මේ පිළිබඳ විවාදයක් තියෙන වග.
අපි ඉල්ලීමක් කරනවා විපක්ෂයත් මේකට සහය දක්වලා.
ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේක සම්මත කරලා මේක මේ 2026 වර්ෂයේම පටන් ගන්න කියලා.
එහෙම නැත්නම් මේ තියෙන සුළු සුළු අඩුපාඩු තව මාසයක් දෙකක් තුනක් අරගෙන හරි අඩුපාඩු තියෙන මොඩියුල හදලා, අඩුපාඩු නොමැති මොඩියුල ක්‍රියාත්මක කරලා, මේක පටන් ගන්න.
දෙමාපියන් අසරණ කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.
මේක 2027 දක්වා කල් නොමරා මේක දැන්ම ක්‍රියාත්මක කරන්න.
අපි කැපකිරීම් කරන්න සූදානම් ඒ නිසා මේක මේ වසරේම ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලා සිටියා.
එහිදී අදහස් දැක්වූ දේශප්‍රිය ජයවික්‍රම මහතා,
පසුගිය වකවානුවේ මේ මොඩියුල සම්බන්ධයෙන් දින ගණනාවක් පුහුණුවීම් කළා.
ඇත්තටම මේක දේශපාලන කථාවකට වැඩිය මං දකිනවා මේක රටක ජාතික අවශ්‍යතාවක්.
යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක අපි තාම ඉන්නේ, අපි ඉගෙන ගත්ත කාලේ අධ්‍යාපන ක්‍රමයමයි කිසි වෙනසක් නැතිව මේ දරුවොත් ඉගෙන ගන්නේ.
නමුත් ඒක වෙනස් විය යුතුයි. මේ වෙලාවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට ගත්ත එක දරුවන්ට සිදු කළ අසාධාරණයක්. මාසයක් දෙකක් මේක ප්‍රමාද වුණාට කමක් නෑ.
මේ වසරේදීම මේ වැඩපිළිවෙල ගෙන ආවොත් 2030 වසර වගේ වෙන විට කිසිම දරුවෙක් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නේ නැතිව සමාජයට දායාද කරන්න පුලුවන්.
තවත් මේක අවුරුද්දකින් පස්සට දැම්මොත් මේ දරුවන්ට ඒක මඟ හැරෙනවා.
රජය මේ පිළිබඳව සුභවාදීව කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා. අපි පුහුණුවුණ විෂයන්වල ගැටලු තිබුණේ නෑ.
ඉංග්‍රීසි විෂයේ තමයි ගැටලු තිබුණේ. ඒ ගැටලු පිළිබඳවත් අපි දැනගත්තේ මාධ්‍යයෙන් යැයිද පැවසීය.













