
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගාවලිය පැවැත්වුනේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරනු ලැබුවා. ඉන්දීය ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ආරම්භක පිතිකාරිනී ෂෆාලි වර්මා පන්දු 39කින් ලකුණු 68ක් සහ ස්මෘති මන්දනා පන්දු 39කින් ලකුණු 59ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිතිලී අයෝධ්‍යා, චමුදි ප්‍රබෝදා සහ නායිකා චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් බිඳහෙලීමටයි සමත් වුනේ.
ලකුණු 184ක විජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා චමරි අතපත්තු පන්දු 32කින් ලකුණු 36ක් රැස් කළ අතර, නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 20ක් ලබාගත්තා.














