
පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කඩොලාන පද්ධති 08ක් මේ වසරේදී නව රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් කිරීම ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින වැඩසටහනේදී ජූලි මස 27 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ඒ අනුව හෙක්ටයාර් 162.72ක් නව රක්ෂිත ලෙස ගැසට් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වනාන්තර පද්ධතිය මතු පරම්පරාවට රක්ෂිත කර ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ තවත් පියවරක් ලෙස කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැකගැනීම සඳහා නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව ‘කඩොලානට දලුලන්න ඉඩදෙන්න‘ නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙරට මේ වනවිට පවතින සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතවයි.














