ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නතයි. මෙම එන්නත ආරක්ෂිත හා ඵලදායී වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකර කර ඇත. කෙටි කාලීන අතුරු ආබාධ ඇතිවීමේ අවධානමට සාපේක්ෂව බොහෝ වාසි හා ප්‍රතිලාභ මෙම එන්නතෙන් ලැබේ. ලොව පුරා නව යොවුන් දරුවන් සදහා මෙම එන්නත් මාත්‍රා මිලියන ගණනක් ආරක්ෂිතව ලබාදී ඇත.

HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබදව අනිසි කැළඹීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. මෙම සිසුන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවේ.

මෙම සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, එ්වාට අනිසි බියක් හෝ කැළඹීමක් ඇතිකර ගත යුතු නොවෙි. එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා සුළු ක්ලාන්ත තත්ත්වයන් මෙන්ම මෙවන් අතුරු ආබාධ ද සාමාන්‍යයෙන් පාසල් එන්නත් වැඩසටහන් වල දී දක්නට ලැබේ.

විධිමත් ක්‍රියාදාමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සදහා පරීක්ෂණ ආරම්භ කර ඇත.

2017 වසරේ හදුන්වා දුන් HPV එන්නත එදා මෙදා තුර ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ පිළිකා සැදීමේ අවදානම අවම කරමින් අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයට උරදෙයි. එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ HPV එන්නතෙන් ලැබෙන ආරක්ෂාව පිළිබදව විශ්වාසය මැනවින් පවත්වාගෙන, නියමිත එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන් ලබාදී තම දරුවන්ගේ නිරෝගීභාවය තහවුරු කරගන්නා ලෙසයි.

WhatsApp Group

Skip to content